පොල්වත්තේ ඉදන් පොල් ගැන කතා නොකලොත් ලොකු අඩුවක්නේ. එක හින්ද අන්තර්ජාලේ රවුමක් ගිහිල්ල පොල් ගැන විස්තර ටිකක් හොයා ගත්තා.
ලංකාවේ වසන අපට පොල් අමුතුවෙන් හඳුන්වාදිය යුතු නැත. කුඩා කල සිටම දන්නා පොල් ගස හෝ එහි කොටස් ගැන අපට අඵතෙන් කිය යුතු දෙයක් ද නැතැයි අප බොහෝ දෙනෙකුට සිතේ. එහෙත් පොල් පළතුරක්ද? අස්මාවක් (ඇටය,කට්ට සහිත ගෙඩියක්)ද? නැතහොත් බීජයක්ද? යන ප‍්‍රශ්නය කෙනෙකු ඇසුවොත් අපේ පිළිතුර කුමක් විය හැකිද?
උද්භිද විද්‍යාත්මකව ඊට පිළිතුරු දෙතොත් පොල් යනු තන්තුමය (කෙඳි සහිත), ඒක බීජ අෂ්ටිලයක් හෙවත් අෂ්ටි ඵලයකි (drupe). එය වියළි අෂ්ටිලයක් ලෙසද හැඳින්වේ. එහෙත් සාමාන්‍ය වශයෙන් විස්තර කරද්දී පොල් තුන් වර්ගයටම අයත් යයි කිව හැකිය. ඒ කියන්නේ පොල් පළතුරකි, අස්මාවකි. බීජයකි.
අෂ්ටිලයක් යනු පීච් හෝ ඔලිව් (රට වෙරළු) වැනි, ඉතා දැඩි කට්ටකින් ආවරණය වු බීජයක් සහිත පළතුරකි.
අෂ්ටිලයට ඉංග‍්‍රීසියෙන් කියන drupe යන්න බිඳී ආ drupa යන ලතින් වචනයෙහි තේරුම වුවමනාවට වඩා ඉදුණු ඔලිව් යන්නයි. පොල් ඇතුළු සියළුම අෂ්ටිලවල ස්තර තුනකි. බාහිරාවරණය (exocarp) හෙවත් පිටත ස්තරය, මධ්‍යාවරණය (mesocarp) හෙවත් මස සහිත මැද ස්තරය සහ අභ්‍යන්තරාවරණය (endocarp) හෙවත් බීජය වටකොට ඇති දැඩි දැව ආකාර ස්තරය යනුවෙනි. පොල් ගෙඩියක් යනුවෙන් සඳහන් කරන විට අපේ සිතට එන්නේ ලෙල්ල රහිත කට්ට පමණක් ඇති කඩයෙන් මිලට ගන්නා ගෙඩිවේ. එසේ නොමැතිව, ගසක තිබෙන පොල් ගෙඩි ගැන සිතතොත් මේ ස්තර ගැන තවත් විස්තර කළ හැකිවේ.
බාහිරාවරණය යනුවෙන් දැක්වු පිටත ස්තරය සාමාන්‍යයෙන් සිනිඳු, කොළ පැහැ එකකි. එහෙත් සිනිදු බව කෙසේ වෙතත් වර්ණය නම් වෙනස් වන බව අපි දැක ඇත්තෙමු (චිත‍්‍රය බලන්න). මධ්‍යාවරණය කෙඳි සහිත ලෙල්ලකි. එය ඝන ආවරණය සහිත අභ්‍යන්තරාවරණය මැදි කරගෙන පිහිටා ඇත. අභ්‍යන්තරාවරණය බීජය වසා සිටියි.
සමහර විද්‍යාඥයන් පොල් හඳුන්වන්නේ ජලය විසුරුවන පළතුරක් හා බීජයක් ලෙසය. බීජයක් යනු සපුෂ්ප ශාකයක ප‍්‍රජනක ඒකකය හෙවත් කොටසයි. පැළ කලලය පිහිටා ඇත්තේ බීජය තුළය. එහි කොටස් දෙකකි. බීජාධාරය(hypocotyl) ලෙස හඳුන්වන කලල මුලය සහ බීජෝපරිය (epicotyl) ලෙස දැක්වෙන කලල පත‍්‍ර යනුවෙනි. ලෙලි ගැසු පොල් ගෙඩියක් ගතහොත් එහි එක පැත්තක එනම් නම් ගැහැණු බෑය යනුවෙන් කටවහරේ ඇති කොටසෙහි ඇස් නැතිනම් හිල් තුනක් දැකිය හැකිය. පොල් ගෙඩිය පැළවී එළියට ඇදෙන්නේ ඉන් එක ඇස කිනි.
භ‍්‍රෑණපෝෂය (endosperm) ලෙස උද්භිද විද්‍යාඥයන් හඳුන්වන බීජයක ආහාර ගබඩාව පොල් ගෙඩිය තුළම පිහිටා ඇත. ඒ තමයි. අප ආහාරයට ගන්න පොල් මදය. පැළ අවස්ථාවේදී එය පැළ මදය ලෙස හැඳින්වේ.
පොල් ගෙඩියට ඉංග‍්‍රීසියෙන් කියන coconut යන්නෙහි nut යන කොටස මද අවුලකට මග පාදයි. විද්‍යානුකූලව nut යනු ඒක බීජ පළතුරකි. එහෙත් coconut සැබෑ nut හෙවත් ඒකබීජ පළතුරක් නොවේ. ඕක් ඵලය (acorn) වැනි සැබෑ ඒක බීජ සිය බීජ මුදා හැරීම පිණිස පැසුණු විට නොපැළෙයි. බීජ මුදා හැරෙන්නේ ගෙඩියෙහි බිත්ති දිරාපත් වීම හෝ සතෙකු ගිල දැමීමෙන් පසුවය.
පොල් ගසේ උපත ලොව කොයිබ සිදුවීද යන්න වසර 200ක් තිස්සේ විද්‍යාඥයන්ට විසඳා ගැනීමට අසීරු ප‍්‍රශ්නයක් බවට පත්ව තිබේ. පොල් ගසේ උපත (උතුරු හා දකුණු ඇමරිකා ඇතුළත්) නව ලොවද? නැතිනම් ආසියා, අප්‍රිකා හා යුරෝපය ඇතුළත් ආදී ලෝකයද? පොල් ගස ප‍්‍රථමයෙන්ම බිහිවුයේ කොහේද යන්න සෙවීමට විද්‍යාඥයන්, කලාව, උද්භිද විද්‍යාව, කීට විද්‍යාව, නිරුක්ති විද්‍යාව, ජන සාහිත්‍යය, ෆොසිල, ජාන විද්‍යාව සහ චාරිකා සටහන් ද යොදාගෙන උත්සාය දරා ඇත.තාලවර්ග ශාක විශේෂඥයකු ලෙස විසිවැනි සිය වසේ මුල ප‍්‍රකටව සිටි ඔඩොආඩෝ බෙකාරි ධාද්රාද ඊැජජ්රස අදහස් කරන්නේ පොල් ගසෙහි ප‍්‍රභවය ආදී ලෝකයේ විශේෂයෙන් ඉන්දියානු සාගර කොදව්වල හෝ පොලිනීසියාවේ සිදු වන්නට ඇත කියායි. ඇමරිකා මහාද්වීපයට වඩා නැගෙනහිර අර්ධගෝලයේ වර්ග වශයෙන් ගතහොත් පොල් ශාක වැඩි ගණනක් තිබීම ඔහුගේ තර්කය තහවුරු කිරීමට යොදා ගැනේ. එහෙත් ඇතැම් (O.F. Cook , H.B. Guppy, K.F.P. von Martius jeks) විද්‍යාඥයන් කියා සිටින්නේ නව ලෝකයේ උපත ලද පොල් ගස ශාන්තිකර සාගරය හරහා බටහිර දෙසට සංක‍්‍රමණය වන්නට ඇතැයි යනුවෙනි. පොල් ගස ගැන මුල්ම සඳහන් කරන්නට ඇත්තේ පස්වන සියවසේ ඊජිප්තු සංචාරකයෙකු වන කොස්මාස් විසිනැයි සැලකේ. ඒ ඔහු ඉන්දියාවේ හා ලංකාවේ සංචාරය කිරීමෙන් පසුව ලියු චාරිකා සටහනකය. ශ‍්‍රීමත් ෆ‍්‍රැන්සිස් ඩ්‍රේක් 16 වැනි සිය වසේදී පොල්ගස හැඳින්වුයේ ‘nargils’ යනුවෙනි. 1700 ගණන්වල ‘coconut’ යන වචනය ස්ථාපිත වන තුරු භාවිත වුයේ ඒ් නමයි.
කලක් විද්‍යාඥයන් විසින් පොල් ගස් විශේෂ හැට(60)කට වැඩියෙන් හඳුනාගෙන තිබුණි. එහෙත් අද එය nucifera නම් ඒක් විෙශ්ෂයකින් යුත් ඒකදර්ශී (monotypic) ශාකයක් ලෙස සැලකේ. කෙසේ වෙතත් පොල් ගස් වර්ග 80ටත් වැඩියෙන් ඇති අතර ඒවා වර්ග කිරීමේදී උස, මිටි යන ලක්‍ෂණ සැලකිල්ලට ගැනේ. උද්භිද විද්‍යාත්මකව නම් පොල් ගස, ගසක් නොවේ. ඊට හේතුව, පොත්තක් (bark) හා අතු නැතිවීමත් හා ද්වීතියික වැඞීමක් නොමැති කමත් ය.
The Library of Congress, Everyday Mysteries හි
Is a coconut a fruit, nut or seed? ලිපිය ඇසුරෙනි